Oct 29, 2023

රැළි රැළි මුහුදු වෙරළේ විචාරය

දුරු රටක, කවදාවත් නොදැකපු, නොදන්න, මිනිස්සුත් එක්ක ටික ටික එයාලගේ සංස්කෘතියට හුරු වෙවී දුවන ගමනේ ඉන්න ගමන්., හිත පතුලේම කෙටිලා තියෙන, ගලවන්න අමාරු, ලංකාවේ හොදයි කියලා ගන්න පුළුවන් සංස්කෘතියෙන් / කලාවෙන් ඈතට යන්න අපිට අමාරුයි.. ඉතින් තාක්ෂණේ එක්ක හරි හරියට ඔට්ටු වෙන ගමන්, ලැබෙන නිදහසේ, ගොඩක් වෙලාවට කරන්නේ සින්දුවක් අහලා හිත නිවාගන්න එක. ඒක නම් බටහිර ඈයොන්ගේ සින්දු වලින් පුරවගන්න තියෙන ඉඩ හරිම අඩුයි.. මොකද එයාලගේ සින්දු ගොඩාක්ම, ඝෝෂාවත් එක්ක තියෙන නිසා. අනික සුද්දගෙ භාෂාව කොහොම ඇහුණත්, සින්හල තරම් හිත යටටම වද්දගන්න හැකියාවක් අපිට තාම නැති නිසා..

ඒත් අදටත් Elton John (Sacrifice etc.), Celine Dion (Because you loved me etc.), Enrique Iglesias (somebody's me) වගේ අයගේ, එහෙම ටයිප් සින්දුවක් ඇහෙනකොට, ටිකක් විතර කීරීගැස්සෙන ගතියක් ගන්න පුළුවන් සුද්දගේ භාෂාව උනත්.

අනිත්වා නම් ඉතින් ඝෝෂාව තමයි ගොඩාක්ම, රොක් කිව්වත්, හිපොප් කිව්වත්. ඉතින් නිවන්න හරි නිවෙන්න හරි උදව් වෙනවා අඩුයි ඒවා. ඔහොම ඉතින් කලින් පෝස්ටුවකිනුත් කිව්වා වගේ ආසියාවේ මුතු ඇටෙන් කිලෝමීටර් 8000ක් විතර ඈත ඉදගෙන, හරි හරියට දවස ගානේ ජොබ් එක්ක, ගෙදරදොරේ වගකීම් එක්ක, ඔට්ටු වෙන අස්සේ., ලඟකදි ඝෝෂා සින්දු වලට අකැමැති මට, ඝෝෂා කියලම හම්බ උනා සින්දු සෙට් එකක් යූ ටියුබ් එකේ. ටිකක් වගේ පරණයි, දාලා තියෙන දවස් බලනකොට. නමුත් ඇබ්බැහියක් වෙලා නැවතුනේ එකක් දෙකක් අහන්න ගිය මම. දැන් ඉතින් ඔෆිස් වැඩ අස්සේත් හෙඩ්සෙට් එකේ ප්ලේ වෙන්නේ ඒ ඇල්බම් එකම තමයි, ගොඩක් වෙලාවට.

මේවායෙ සින්දු කියන්නේ චින්තක ගීතදේව කියන සුවිශේෂී ගායකයා. එයාගේ බෑන්ඩ් එක, ප්ලේ කරන්නේ අමුතුම ශබ්ද උත්පාදනය කරන අයිටම් ටිකක්. හැබැයි සින්දුවට තව තවත් අපිව හුරු කරනවා මිසක්, ඒ අයිටම් වලින් සින්දුවේ වටිනාකමට කිසිම හානියක් කරන්නේ නෑ. එතන ඒවායින් හදන්නේ පුදුමාකාර ශබ්ද සංකලනයක්.

සමහර සින්දු අහලා ලෙසටම හිතට වැදුනොත්, මම ඒකේ තේරුම හොයනවා. ඒක එදා ඉදන්ම තියෙන පුරුද්දක් මගේ. ඉතින් මේ විචාරය කරන්න යන සින්දුවෙත් (ඝෝෂා ඇල්බම් එක අහන් යනකොට) සෙට් උනා ලෙසටම (මට හිතෙන තේරුම, තාම කොතනවත් පල නොවුනු, ලස්සනම ලස්සන සින්දුවක්).ඉතින් මම හිතාගත්තා, ඒක අද, විචාරයක් එක්ක දානවා කියලා අමු සින්හලෙන්ම. මට හිතෙන විචාරේ පට්ට වැරදි වෙන්න පුළුවනි. ඒක පට්ට හරි වෙන්නත් පුළුවනි. කොමෙන්ටුවකින් ඔයාලටත් ඒකට උදව් වෙන්න පුළුවනි.

"මරුවැල්" සින්දුවෙන් තමයි මම චින්තක ගීතදේව කියන ගායකයා ගැන දැනගත්තේ. ඊට පස්සේ "කිරි කිරි බෝලේ", "උයනක් කියන්නේ මේකද" කියන ඒවායින් දැනගත්තා ඒ සින්දු වල තියෙන අර්ථාන්විත සහ පිරිච්ච කම ගැන. අද විචාරෙට ගත්තේ ඒ වගේම සුපිරිම සුපිරි හිට් එකක් වෙන්න ඕන ගීතයක්. ඒ තමයි "රැලි රැලි මුහුදු වෙරලේ" සින්දුව.

"රැළි රැළි මුහුදු වෙරළේ...

තුරුළු කරගෙන කිටි කිටියේ..

ඔයා මට ආදරෙයිද... 

ඔබ මගෙන් ඇහුවා..."

සින්දුවෙ පටන් ගැන්ම එහෙමයි තියෙන්නේ. හැබැයි ඒ වෙනකොටත් අපිව සෑහෙන්න ප්‍රමාණෙකට වෙනම ලෙවල් එකකට අරන් ගිහින් ඉවරයි, අර මම කිව්ව ඝෝෂා සංගීතයෙන්. ඒ එක්කම ටිකකින් මේ පද පේලි ටික ඇහෙන්න ගන්නේ අපි කලින් සඳහන් කරපු චින්තක ගීතදේව කියන ගායකයාටම ආවේනික ශෛලියකින්.

මෙතනදි කෙලින්ම මැවෙන්න බීච් බැස්ස දෙන්නෙක්. ඒ කියන්නේ කපල් එකක්. කොල්ලයි කෙල්ලයි. හැබැයි ගොඩක් වෙලාවට මේ දෙන්නා තාමත් ආදරේ එකිනෙකාට ප්‍රකාශ කරගෙන නෑ. ගොඩාක් දුරට මගේ අනුමානය හරි නම්, හොදම යාලුවෝ වගේ දැනට ඉන්න දෙන්නෙක් වෙන්න ඕන. තව කොටස් දෙකකින් වගේ දැනෙන තව දෙයක් තියෙනවා. ඒකත් දැන්ම කියන්නම්, මොකද ආරම්භයට ඒක අවශ්‍ය නිසා.ගොඩක් වෙලාවට දෙන්නම කැම්පස් වෙන්න පුළුවනි. හැබැයි කොල්ලා පේන විදිහට පට්ට මීටරයක්. ඒකත් ඊලඟ කොටස් වලදි අහු වෙනවා ආයිමත් මම පැහැදිලි කරන්නම්.

"තුරුළු කරගෙන කිටි කිටියේ.."

හැබැයි දෙන්නට දෙන්න නොකිව්වට, දෙන්නට දෙන්නා කැමති වග, දෙන්නට දෙන්නා දන්නවා. මොකද වෙරලට බැහැලා ටිකකින්, කිටි කිටියේ තුරුළු කරගෙන හිටියා කියලා කියවෙන නිසාවෙන්. ඒ වෙලාවෙ ගෑණු ලමයට ඕන වෙනවා මේ දේ එලිපිටම ප්‍රකාශ කරන්න. කැස්සයි ආදරේයි හන්ගන්න බෑ කියනවනේ. කැස්ස අමාරුවෙන් හන්ගන්න උත්සහ කරන්න ගියොත් ඇස්වලින් කඳුලුත් පැනලා, පොඩි කැස්සත් දෙගුණ තෙගුණ වෙලා තමයි ඊලඟට එන්නේ. ඒ වගේ මෙ ගෑනු ලමයත් උත්සහ කරනවා බොරුවට හන්ගන් ඉදලා වැඩක් නෑ, දෙන්නට දෙන්න දන්න නිසා එලිපිටම අහන්න පිරිමි ලමයගෙන්.

"ඔයා මට ආදරෙයිද... 

ඔබ මගෙන් ඇහුවා..."

නමුත් පොඩ්ඩක් ඉන්න..

වෙනසක් තේරුනා නේද.? සාමාන්‍යයෙන් අහන්නේ කොල්ලා නේද මුලින්.? මෙතන උනේ අනිත් පැත්ත.එහෙම වෙන්න පුළුවනි ගොඩක් වෙලාවට කොල්ලා පට්ට සල්ලි කාරයෙක් හරි සෑහෙන්න ජනප්‍රිය චරිතයක් හරි එහෙම නම්. ඒත් මෙතනදි බීච් බැහැලා කෙල්ලව තුරුලු කරන් යන සාමාන්‍ය කොල්ලෙක්. ඒ කියන්නේ සල්ලි කාරයෙක්වත්, ජනප්‍රිය පොරක් වත් නෙමේ කියන එක. එක්කො කැම්පස් එකේ බ්‍රයිට් කේස් එකක්. එක්කෝ කෙල්ල තමන් ගැන අවතක්සේරු කරන් ඉන්න කෙනෙක්.

එහෙම වෙන්න නම් එක්කෝ මේක අනියම් කතාවක් වෙන්න පුලුවන් කියලා හිතෙන්න පුළුවන්.ඒත් අනියම් කතාවක් නම් බය නැතුව වෙරලේ ඇවිත්, තුරුල් කරන් ඇවිදින් නෑ. ඒ නිසා මෙතන සාමාන්‍ය කැම්පස් කපල් එකක් ඇවිදින්න යනවා කියලා හිතාගත්තා නම් හරි. හැබැයි අර පොයින්ට් එක අමතක කරන්නෙපා.ගොඩක් වෙලාවට කොල්ලා මීටරයක් හරි කෙල්ල තමන් ගැන අවතක්සේරුවෙන් ඉන්න කෙනෙක්වත් වෙන්න ඕන. ඒ නිසා මෙතනදි කෙල්ල ඉස්සර වෙනවා.

"මම රැල්ල පාග පාගා ඇවිද්දා"

මෙතනදි කොල්ලට ඔව් කියන උත්තරේ කටට එන්නේ නෑ. මොකද කැම්පස් කාලේ කියන්නේ හම්බකරන කාලේ නොවෙන නිසා. අනික යතාර්ථය පොඩ්ඩක් තේරුම් අරන් ඉන්න කෙනෙක් විදිහට එයා එවෙල ඒකට උත්තරේ නොදී, ගෑනු ලමයව අත් නොඇරම රැල්ල පාගාගෙන ඇවිදිනවා. සමහර වෙලාවට ආර්ථිකයත් නෙමේ ප්‍රශ්නේ, වෙන දෙයක් වෙන්නත් පුළුවනි. එහෙම කියන්නත් වෙනම හේතුවක් තියෙනවා. ඒක ඉස්සරහට බලමු. මෙතනදි කොහොමහරි කොල්ලා උත්තරේ දෙන්න යන්නේ නෑ, ලිස්සල යනවා. සමහර විට කොල්ලා තාමත් කෙල්ලව හොයලා බලනවා වෙන්නත් පුළුවනි (අර ඔෆිස් වලට ගන්න කලින් කරන background check එක වගේ දෙයක්). එහෙම වෙන අතරේ යෝජනාවත් කෙල්ලගෙන්ම කලින්ම ආවම, පොඩ්ඩක් වික්ෂිප්ත උනා වෙන්නත් බැරි නෑ. තව ඉතින් කියන්න පුළුවනි බටහිර රටවල වගේ ආශ්‍රය කරලා බලලා හොදයි නම් සහකාරිය කරගන්න උන්නා කියලාත්.

"ඉන වටා අත දාගෙන...

පන්සලේ පඩි නගිද්දී... 

ඔයා මට ආදරෙයිද... 

ඔබ මගෙන් ඇහුවා..."

දැන් ඉතින් කීප කාලයක් ඔහොම ඔහොම ගත් වෙනවා. ආයෙම සංගීතෙන් පස්සේ ගීතදේව මුමුණන පද පෙලේ කියවෙන්නේ අපේ මේ කතා නායකයයි නායිකාවයි පන්සලකට ගිය කතාවක්.

මෙතනදි ටික කාලයක් ගිහින් තමයි මේ හමුව වෙලා තියෙන්නේ. එතනදිත් ආදරේ අඩුවක් නම් පේන්නේ නෑ ඒ ගෑණු ලමයගේ. මොකද එතනදිත් ඉනවටා අත දාගෙන තමයි පන්සලේ පඩි නගින්නේ කියලා කියවෙනවා. මෙතනදි පඩි කිව්වට යාපහුව, සිරිපාදේ වෙන්න නම් බෑ ඉතින්. කැලණිය, කලුතරත් නෙමේ ගොඩක් වෙලාවට, මොකද  ඒ දෙකට ගියාම ගොඩක් සම්බන්ධ කැඩෙනවායි කියලා ඒ කට්ටියම හදාගත්ත ඇදහිලි විශ්වාස තියෙන නිසා. ඒ නිසා අපි හිතමු නිවී හැනහිල්ලේ ලඟපාතක හරි, ගමේ පන්සලකට වගේ හරි ගොඩ වෙච්ච අවස්ථාවක් කියලා.

"මම පඩියෙන් පඩිය ගැන්නා..

පඩියෙන් පඩිය නැග්ගා.."

මේ කියන එකෙන් ගොඩක් වෙලාවට සින්දුව අහන කෙනාට මුලින්ම ඔලුවට එන්නේ, කතාව හරි මාතෘකාව හරි වෙනතකට හරවන්න ඕනකමට, වෙන වැඩක් කරන්නා වගේ. ඒ උනාට මෙතන වෙනත් දෙයක් කියනව කියලයි මට හිතෙන්නෙම. ඒ තමයි මේ වෙනකොට ඒ ආදර සම්බන්ධෙට ගොඩක් කල් ගිහින්. කොල්ලා බ්‍රයිටා නිසා ගොඩ වෙලාවට ජොබක් සෙට් කරන් මේ වෙනකොට. දැන් කාලේ නම් ඉගෙන ගන්න ගමනුත් ජොබ් කරන්න පුළුවනිනේ. ඉතින් මෙතන පන්සලේ පඩියම නෙමේ කියවෙන්නේ. මේ කොල්ලා මේ වෙනකොට පඩියෙන් පඩිය නැග්ගා කියන්නේ, ජොබ කරන ගමන් ඒකේ ප්‍රමෝෂන් එක්ක, ඉහල වැටුප් එක්ක උඩට යනවා සහ තවත් යන්න ට්‍රයි කරනවා. එහෙමත් නැත්තම් ජොබෙන් ජොබට මාරු වෙවි, ලොකු ගාණක් අතට ගන්න ජොබක් සෙට් කරගන්න ට්‍රයි එක දෙනවා. ඉතින් මේක තමයි කොල්ලගේ ඔලුවේ වැඩ කරන්නේ කෙල්ල ආදරේද අහන වෙලේත්.

"කොටු කොටු පදික වේදිකාවේ..

අත්වැල් බැඳන් යනකොට..

ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා.."

මේ අන්තිමට ඇහෙන කොටස. කලින්ම තුරුලු කරන් කිටි කිටියෙ ඉදන්, ඊලඟට ඉන වටා අත දාගෙන ගියපු දෙන්නා, අද වෙනකොට යන්නේ අත්වැල් බැදන්. ඒ කියන්නේ තවත් අවුරුදු ගානක් ගිහින් වෙන්න ඕන. ආදරේ සාමන්‍ය තත්වෙට ඇවිත්. තාම මෙයාගෙ උත්තරේ නම් ලැබිලා නෑ වගේ, ගෑනු ලමයට. හැබැයි කොල්ලා නම් සෑහෙන්න උඩකට ගිහින් ඉන්නවා ඇත්තේ ජොබ් එකයි, ප්‍රමෝෂන් ටිකයි නිසා (අපි කලින් අනුමාන කලා වගේ).

සල්ලිත් එක්ක, තනතුරුත් එක්ක, උඩට ගිහින් උන්නත්, බය නැතුව තාම කලින් කෙල්ලගේ අත් අල්ලන් යනවා කියන්නේ, මේ වෙනකොටත් එයා තමයි මේ කොල්ලා බඳින්න හිතන් ඉන්න කෙනා. හැබැයි දිගටම උත්තර නොදුන්න ප්‍රශ්නේ, මේ වෙලාවෙත් අහනවා ඒ කෙල්ල, ආදරේද කියලා. ඒකෙන් තේරෙන්නේ, ඇත්තටම මේ ගෑණු ලමයාව තමයි මේ කොල්ල මේ දවසක් වෙනකන් මැනලා හොයලා බලලා තියෙන්නේ. හොයලා බලනවා කියන එකෙන් අදහස් වෙන්නේ, බයක් සැකක් නැතුව බඳින්න පුළුවනිද, කොල්ලො දාහක් මැද්දේ උනත් බය නැතුව තියලා යන්න පුළුවනිද කියලා වගේ දෙයක් වෙන්න පුළුවනි. 

"මම කොටුවෙන් කොටුව ගැන්නා..

කොටුවෙන් කොටුව පැන්නා.."

නමුත් ඊලඟ පේලි දෙකෙන් කියවෙන්නේ, මේ වෙනකොට පිරිමි ලමයාට ඕනි කරපු උත්තරේ එයාට ලැබිලා. ඒ කියන්නේ ආදරේද ආදරේද අහන ගෑණු ලමයා, ඇත්තටම එයාට ආදරේ කරන කෙනෙක් නෙමේ කියලා එයා දැනගෙන. එයා පරම පිවිතුරු ආදරේ නාමයෙන් ලඟ උන්නත්, එහෙම කෙනෙක් නෙමේ කියන එකයි. මොකක් නමුත් දෙයක් නිසා, කොල්ලා මේ වෙනකොට ඒ ගෑනු ලමයා ගැන අවසාන නිගමනේකට ඇවිත් වෙන්න ඕන. 

ඉතින් ගීතදේවගේ අවසාන පේලි වලින් කියනවා ඒ නිසා මේ අපේ මේ කතා නායකයත් (කොල්ලත්), තමන්ට හරි යන වෙන අය ගැනත් හොයලා බලලා, ඒ අයට ඇඳෙනවා කියන කතාවක්. ( මෙතන කොටු පනිනවා කියන එකෙදී ඇත්තටම ඒකේ කොටු කියන්නේ, තව තව අය ලඟට යනවා කියන එක) 

අහලාම බලන්න.තවත් වෙනස්ම දෙයක් හිතුනොත් කමෙන්ටුවක් දාන්න

ජය..!



රැළි රැළි මුහුදු වෙරළේ

තුරුළු කරගෙන කිටි කිටියේ

රැළි රැළි මුහුදු වෙරළේ

තුරුළු කරගෙන කිටි කිටියේ

ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා

ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා

මම රැල්ල පාග පාගා ඇවිද්දා


ඉන වටා අත දාගෙන

පන්සලේ පඩි නගිද්දී

ඉන වටා අත දාගෙන

පන්සලේ පඩි නගිද්දී

ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා

ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා

මම පඩියෙන් පඩිය ගැන්නා

පඩියෙන් පඩිය නැග්ගා

පඩියෙන් පඩිය ගැන්නා

පඩියෙන් පඩිය නැග්ගා


කොටු කොටු පදික වේදිකාවේ

අත්වැල් බැඳන් යනකොට

කොටු කොටු පදික වේදිකාවේ

අත්වැල් බැඳන් යනකොට

ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා

ඔයා මට ආදරෙයිද ඔබ මගෙන් ඇහුවා

මම කොටුවෙන් කොටුව ගැන්නා

කොටුවෙන් කොටුව පැන්නා

කොටුවෙන් කොටුව ගැන්නා

කොටුවෙන් කොටුව පැන්නා