ඔහොම ඔහොම ඉතින් එයත් එක්ක කතාව දාන් උන්නා මමත් ඉතින්..මම හැබැයි මට අමාරුවක් නැති ගානටයි කතා කලෙත්..ඇත්තට මට අර ඔපරේෂන් කතාවට පස්සෙ ලෙඩේ හොදයි කියලත් හිතුනා සමහර වෙලාවට..
ටික වෙලාවකින් ආන්න ඈතින් මතුවුණා අයියයි, අම්මයි, තාත්තයි..
"කොහොමද මල්ලා.." මම ගෙදර මල්ලි නිසා මට කියන්නෙ අම්ම මල්ලා කියලා.
"අද ගන්න කතාවක් කිව්වෙ ඔපරේෂන් එකට.."
ඉතින් ඇවිත් කථා බහ කර කර ඉඳලා ඉඳලා කට්ටියට යන්න වෙලාවත් සෙට් වුනා.මමත් පැත්තක ඉඳන් බලන් උන්නා කට්ටිය භජනෙ දාන හැටි.
ඉතින් ඇවිත් කථා බහ කර කර ඉඳලා ඉඳලා කට්ටියට යන්න වෙලාවත් සෙට් වුනා.මමත් පැත්තක ඉඳන් බලන් උන්නා කට්ටිය භජනෙ දාන හැටි.හානේ ඉතින් තව අවුරුදු තුන හතරකින් ඔය වගේම ගෙදර ආලින්දෙත් ඔය කට්ටියම ඔය විදිහට කයිය ගගහ ඉඳීවිනේද කියලත් හිතෙන කොට හිතට අමුතු සතුටකුත් දැනෙනවා..
"ඔය ලෙඩ්ඩු බලන්න ආපු අය යන්න.."
අප්පා..ඔය වචන ටික තමයි නැවතිලා ඉන්න ලෙඩ්ඩුන්ගේ ආසම නැති කතාව..ඉතින් මම ඇහුවා අපේ එක්කෙනාගෙන්
"දැන් කොහොමද යන්නෙ.."
"අපෝ වෙලාව වැඩී දැන්ම ගිහින්..ටිකක් හෙමින් යන්න කියලා බැලුවෙ.පයින්ම ගියා නම් වෙලාවත් හරි.."
"පිස්සුද ඔයා අපේ තාත්තලත් එක්ක යන්න.."
"අම්මේ..මෙයාවත් ඔයාලත් එක්කම දාගෙන යන්න.."
"හරි..එහෙනම් පුතේ අපි දවල්ට එන්නම්.නැන්දලත් බලන්න එන කතාවක් කිව්වා.."
"ආහ්..ලොක්කා එහෙනම් අපි ගිහිල්ලා එන්නම්.."
ඒ ජාතියේ කතාව ඉතින් මාත් එක්ක දාන්නෙ අයියා.
"හරි එල..දැන් වැඩට යන්නත් එපැයි නේද ?හවසට එනවකො එහෙනම්..චෙරියෝ.."
හිනාවක් දාන් කට්ටියටම සමු දුන්නාට මම දන්නවා මගේ හිත දන්නවා හවස් වෙනකොට මාව ඔපරේෂන් එකට අරන් කියලා.නොයවා තියා ගන්න පුලුවන් නම් එකෙන්ම කැමති.ඒත් මොනා කරන්නද ?
මම ආයිමත් ඇල වුණා ඇදේ.කී දෙයක් හිත ඇතුලේ වැඩ කරනවාද ?ඒත් මම හිතුවා,ප්රාර්ථනා කලා මාව ඔපරේෂන් එකට ගන්න කොට කට්ටියම එන්න කියලා ලගට.ඒ වෙලාවට මම කොහොම ඉතින් ඉදීවිද කියන්න බෑනේ.මගෙ පලවෙනි එකනෙ දෙයීයනේ..
ඔන්න කට්ටියම ගියා ඉතින්.මම ආයිත් තනියම.කන්න බොන්න නෑ.සේලයින් විතරයි.හිතත් බයයි.
දොස්තර කෙනෙක් ආවා ඔන්න ටිකකින්.
බැලුවා මගේ විස්තර..
"ඔයාව ඔපරේෂන් එකට ගනී දවල්ට.."
ආයිත් ඒ කතාවමයි..
ටිකක් ඔලුව තියන් උන්නා.තව දොස්තර කෙනෙක් ආවේ නැතෑ හෙන සෙනඟක් පිරිවරාගෙන.එයා එක්ක ලොකු දොස්තර නෝනලා ලොකුම මිසීලා ඔක්කොම 8ක් විතර.ඉතින් මම දැන ගත්තා එයා තමයි ලොක්කා මේ වාට්ටුවටම කියලා.එයා ලොකු දෙයක් කරන්නෙ නෑ.ලෙඩා ලගට ආව ගමන් මෙච්චර වෙලා අපිව බලන දොස්තර පැනලා අපේ ලෙඩ විස්තරේ කියනවා සාරාංශ කරලා.මගේ ලගටත් ආවා.
"මෙයාට ඩොක්ටර් ඇපෙන්ඩිස්.අද සර්ජරි එකට ගන්න ඉන්නෙ"
"ඕකේ..දැට්ස් ගූඩ් ෆොර් හිම් ඉෆ් ඉට්ස් අ ලැපරස්කොපික්.."
මට කරන්න තියෙන්නෙ ලැපරස්කොපික් එකක්.ඒ කියන්නෙ සම්පූර්ණ බඩ කපන්නෙ නෑ.තැන් තුනක් කපනවා.එකකින් දානවා කැමෙරාව.එක බඩ ඇතුල දිගේ වීඩියෝ එක පෙන්නනවා.
අනිකෙන් දානවා කපන ආයුධේ.පොඩි බටයක් දිගේ යවන්නෙ.
අනිකෙන් යවනවා ඒ කපන ඒවා ගන්න ඕන කරන කොක්කක් වගේ එකක්.ඔහොම තමයි ඉතින් කරන්නෙ වැඩේ.මම දන්නෙත් යූ ටියුබ් එක පීර පීර බලල එහෙම ඉවර උනාම තමයි ගෙදර ඇවිත්.
ඔහොම ඔහොම ඉන්නකොට ඉතින් වෙලාව ඇති දැන් 11ට විතර.එතන වෝඩ් එක බාර ඇටෙන්ඩන්ට් ඇවිත් මට කතා කලා.මේ වෙනකොට මගෙ මම අර කිව්ව අපේ නෑදැ වෙන එක්කෙනා අපේ වාට්ටුවෙ ඇටෙන්ඩන්ට් කෙනෙක්ට මම ගැන කියලා තිබිලා තිබ්බෙ.ඉතින් එයත් මම ගැන හොයලා බැලුවා ගොඩක්.බය නැති කලා පුලුවන් විදිහට..
ඔන්න අර ඇටෙන්ඩන් ආව කිව්වෙ.එයා
"මල්ලි ඔයාගේ තියෙන ඔක්කොම අරන් එන්න ඉස්සරහට.."
මගේ මේ වෙනකොට තියෙන්නෙ කොට්ටෙයි සෙරෙප්පු දෙකයි විතරයි.මම කොට්ටෙ කිහිල්ලෙ ගහ ගත්තා.සෙරෙප්පු දෙක දාගත්තා.ආවා ඉස්සරහට ඉස්සරහට වාට්ටුවෙ.
ඇවිත් ඉන්නකොට එතන නර්ස්
"ඔය පුටුවෙන් වාඩි වෙන්න එයාලා අඬගහනකන්"
මට කිව්වා කොට්ටෙ එහෙම එහා තැනකින් තියන්න කියලත්.මම ඒවා තිබ්බා.ඇයි සෙරෙප්පු දෙකත් තිබ්බා.ඒක තාම ගන්නනම් මම ගියේ නෑ..
ඔන්න මගේ නම කිව්වා.මම ගියා එතන එහා පැත්තෙ පොඩි කාමරේකට.එතනට යන්න කලින් සින්දුවක් එහෙම කිව්වා ඉතින් දන්නෙ නැද්දා කීයවෙනකන් ගත වෙයිද කවුද දන්නෙ.ඒ මදිවට සිහි නැති කලාට පස්සේ ඔය අවශ්යතාවය හින්දා සිහිය ආවොත් මල කෙලියනෙ වෙන්නෙ..
ඔන්න ඉතින් මට හිතෙන්නෙ ඔහොමයි..
වැඩෙත් කරන් මම ආවා ඒ කිව්ව කාමරේට.ඒකෙ තිබ්බේ ඇඳක් විතරයි.මම බැලුවා මේ එන්නෙ මොකාටද කියලා.ඇටෙන්ඩන්ට් කෙනෙක් මෙන්න ආපි.
"ඇඳෙ දිගා වෙන්න"
"හරි"
මෙන්න බොලේ ගත්තා මොකක්ද දන්නෙ නෑ බෝතලයක්.හැලුවා පපුවෙ ඉදන් බඩ දිගේ යටි බඩට වෙනකන් පහලට.
ගත්තා රේසර් එකකුත්.
හරි පුතෝ මේ මගේ රෝම අයින් කරන්ටනෙ යන්නෙ.ඇයි ඉතින් ඔපරේෂන් කරද්දි ස්කෑනර් එකට අහු වෙන්නෙ නැතුව ඇති මේ වලහා වගේ තියෙනකොට.
හික් හික්..වලහා වගේ කියලා නමට කිව්වට පොඩ්ඩයි හොඳේ..
ඔන්න ඉතින් එතකොට මගෙත් එක්කම තවත් කොල්ලෙක් ඉන්නවා ඒකටම.මමත් ඉතින් එකෙක් දැක්කොත් හොද ඩයල් එකක් වගේ නම් අනිවා වචන දෙක තුනක් දාල ෆිට් කරගන්න ආසයි.ඇත්තටම හිතවතෙක් ජීවිතේකට එකතු කරගත්තාම කවදා හරි කොහොම හරි අපිට ඕනේ උන වෙලාවකදි උදව්වක් ගන්න හරි, ඒ කෙනාට ඕනේ වෙලාවකදි උදව්වක් දෙන්න හරි මේ වගේ බැඳීම් ගොඩක් වටිනවා.
ඉතින් මමත් පටන් ගත්තා ලගට ගිහින් කතාව
"මොකෝ මචන් සීන් එක.?"
"ඇපෙන්ඩිස්.දොස්තරලා දිගින් දිගටම කිව්වෙ ගැස්ටික් කියලා බන්.මමත් ඒකට බේත් ගත්තා දිගටම.මෙහෙ ආවම දන්නෙ අරකයි සීන් එක කියලා."
"අප්පා.මමත් ඇපෙන්ඩිස් බන්..ඔපරේෂන් කරලා තියේද මචන් මීට කලින් ?"
"නෑ..ඔයා"
"නෑ බන් මගෙත් පලවෙනි එක.."
මට දැන් ටිකක් හිතට සැනසීමයි.මාත් එක්ක ඒකට යන්න එකෙක් සෙට් වුනානෙ ඉතින්..
මමත් ඉතින් ඔහොම කයිය ගහනකොට අර මම අදුරන ඇටෙන්ඩන්ට් ආවා ට්රොලියක් තල්ලු කරගෙන.
"නගින්න.."
මමත් යාලුවත් නැග්ගා..
පොර නාවලපිටියෙ.මගේ වයසෙම වගේ කොල්ලෙක්.කොල්ලුපිටියේ පුද්ගලික අධ්යාපන ආයතනයක වැඩ කරන්නෙ.ඉතින් අර ට්රොලියේ මමත් එයයි සේලයින් බෝතලුත් එල්ලන් නැග්ගා.නැගලා වාඩි උනා.දැන් යනවා ඉතින් අපි ඔපරේෂන් තියටර් එකට.කයියක් දාගෙන ගියාට මොකො මගෙ බොක්ක ගැහෙනවා.හිතන විදිහට පොරත් එහෙම වෙන්න ඕනේ..
ගිහින් ගිහින් ආවා තියටර් එකට.
එතනදි අපිව වෙන වෙනම ඇදන් ට්රොලි දෙකක නිදි කෙරෙව්වා.මෙච්චර වෙලා නවත්තලා තිබුණු සේලයින් එක ආයිමත් බිංදුව බිංදුව වැටෙන්න හැදෙව්වා.දැන් දෙන්නා දොර ලග ඉන්නවා තියටරේ ඊලගට.
ටිකකින් ආවා කට්ටිය ගත්තා යාලුවව ඇතුලට.මට යද්දි ඇහැකුත් ගහගෙන ගියා පොරත් පොර වගේ.මමත් එලකිරි වගෙ කරන් වරෙන් කියන්න වගේ බැලුව.එහෙම්ම ඊට පස්සෙ දොර ලග මම තනි උනා.
මම මොකටද හංගන්නෙ තවත්..මේ වෙනකොට මම මෛත්රී භාවනාව කරන්න ඇති 10 පාරකට වැඩිය.මගේ තරහ කාරයන් කියලා ඉන්න ඔක්කොටම.ඉතිපිසෝ ගාථාව කියන්න ඇති ඒ වගේ 10 ගුණයක්.මගේ හිතේ කොච්චර හරි ගස්සන්න හැදුවත් ලොකු අවිනිශ්චිත බවක් තියෙනවා.අනේ මන්දා මොහිදින් බෙග්'ට සිහිය එන් නැතුවලුනේ නැති වුනේ.ඉතින් ඔව්වා හිතෙනවා කියන්නෙ මේ වෙලාවෙ ඔයාලට තේරෙනවානෙ මට කොහොම තියෙන්න ඇද්ද කියලා.
වෙලාව ඇති 12ට විතර.
දොර ඇරුණා..
දෙන්නෙක් ආවා මාව ඉන්න ට්රොලිය අල්ලන් තල්ලු කලා තියටර් කාමරේට.ඔන්න හැබැයි දැන් නම් ඕන දේකට රෙඩි කියන්න වගේ හිත හැදිලා.ඒ කොහොමද කියන්න නම් දන්නෙ නෑ.
ලස්සන කාමරයක්.පිරිසිදුවට පිළිවෙලට තිබ්බා අපරාදේ කියන්න බෑ..
"කමිසේ ගලවන්න.."
"හරි ඩොක්ටර්.."
"කලිසමත්......"
"හ්ම්ම්.."
"කලින් ආපු කෙනාගේ නම් කැපුවා ඔපරේෂන් එකට බඩ.ඔයාගේ නම් කපන්නෙ නෑ.අපි හිරිවට්ටනවා විතරයි.ඔයා අර ටීවී එකෙන් බලන් ඉන්නකො"
අප්පද බොල.මට මාර හැපී.සිහි නැති කරන්නෙ නෑලුනේ.එල එල.මම උඩ පැනලා හා කියන්න වගේ ඔලුව වැනුවේ.ඔන්න ඉතින් මාව තියටර් එකේ සර්ජරි ඇදට ගත්තා.අත් දෙක දෙපැත්තට කරලා ලොක් කලා.දැන් මාව කුරුසේ ගහලා වගේ.ඔහොම ඉන්න කොට එක්කෙනෙක් ඇල්ලුවා නහයට මාළු පාන් ගෙඩියක් වගේ හැඩයක් තියෙන කවරයක් තියෙන බටයක්.මට නහයට තද කරලා ඒකෙන් හුස්ම ගන්න කිව්වා.මමත් ඉතින් ගත්ත හොදට හුස්මක්.
හික් හික්..එච්චරයි මට මතක..මගෙ සිහි නැතිවෙලා...
සිහි එනකොට මම මොකක්දෝ වාට්ටුවක ඇදේ ඉන්නවා..