මම වටපිට බැලුවා හෙමිහිට හෙමිහිට..
ම්..මෙන්න අම්මයි,තාත්තයි,අයියයි ඉන්නවා.මට අලුත් පණක් ආවා වගේ.මම නැගිටින්න වගේ ට්රයි කලා.කොහෙද එව්වා.ඔලුවම බරයි.කාලත් නෙමේනෙ උන්නෙ.ඒක වෙන්න ඇති.
නිදිත් මතයි මාර විදිහට.මත් වෙලා වගේ.මම හැබැයි නිදාගෙන ඉදලා නැගිටලා වගේ හිතට දැනෙන්නෙත්.පේන්නෙත් නෑ කට්ටිය වටේටම උන්නට පැහැදිලිව.ඡායාවල් වගේනෙ බොලෙ පේන්නෙත්.
මට පොඩ්ඩ පොඩ්ඩ තේරුණා මම ඉන්නෙ වෙන වාට්ටුවක කියලා.තොටිල්ල වගේ මරු ඇඳක්.දෙපැත්තෙනුත් වහලා.
පට්ටයි..ඈ..
මෙන්න එතකොටම මේකෙත් ඇහෙනවා අර කතාවම
"වෙලාව හරි..කෝ ඔය ලෙඩ්ඩු බලන්න ආව අය යන්න.."
අනේ මම අන්තිම අසරණයි.මට ලොකු තනිකමක් දැනුනා.යන්න එපා කියන්න උත්සහ කලා මම.බැහැ ඒ උනාට මට වචන පිට කරන්නවත්.ඇතුලෙන් රිදෙනවා කියලා මට දැනෙන්න ගත්තා.මම ජීවිතේ මේ තාක් කාලයට මුහුණ දීපු සංවේදීම අවස්ථාව.මම කථා කරන්නවත් බැරි තරමට අසරණ වෙලා.ඒ අස්සෙ ඉන්න අය යන්නයි කියනවා.මට අමාරුයි.ඇතුලෙන් රිදෙනවා.දැන් මට ටික ටික මතක් වෙනවා මම පොඩ්ඩකට කලින් ඔපෙර්ෂන් එකකට මූණ දුන්න කෙනෙක් කියලා.ඇත්තට මට මතක නින්දක් ගිහින් නැගිට්ට වගේ.ඒත් දැන් දැන් මතක් වෙනවා ටික ටික.
අනේ අර මම ගැන හොස්පිටල් එකේදී බැලුවා කිව්ව අක්කත් ඇවිත් එයාගේ හස්බන්ඩ් එක්ක.ඒ කියන්නෙ මගේ පුංචිගේ ලොකු පුතා එක්ක.එයාවත් මාව ලඟ කෙනෙක් තියන්න උදව් කරයි ෂේප් එකක් දාලා කියලත් මට හිතුණා.
ඒත් එහෙම වෙන පාටක් නෑ.
"අනේ මාව දාල යන්න එපා"
තොටිල්ල වගේ තිබුණු මගේ ඇඳ ලගම උන්නෙ අම්මා.මම අම්මගේ අත අල්ල ගත්තා.
"අම්මෙ යන්න එපා මාව දාලා දැන් නම්..."
ඒත් අර මනුස්සයා කෑගහනවා
"යන්න යන්න ඔය ලෙඩ්ඩු බලන්න ආව අය යන්න.."
අපේ තාත්තා ගොඩක් ඔය වගේ ඒවායේදී ගන්නෙ ඒ නිලධාරින්ගේ පැත්ත.ඉතින් බොලෙ අදත් මෙන්න අම්මට කියනවා
"යමු යමු..දැන් අපිටත් කෑ ගහයි..අපි යමු.මෙහෙම ඉන්න එක හරි නෑනේ.."
"අනේ ඒ උනාට කොහොමද යන්නේ.?මෙයාට තාම අමාරුයි වගේ.."
අන්තිමේ ඒ උනාට අම්මා මගේ අත අතැරියා යන්න කියලා.මම අන්තිමටම අසරණ උනා.මට ඇඩෙන්න වගේ.අනේ මෙයාලට මගේ අමාරුව තේරෙන්නෙ නැති හැටි.
මට අන්තිමට අයියා ලගට ඇවිත් කිව්වා
"අද මම එන්නම් රෑ වෙලා ලග ඉන්න බලාගෙනම.දැන් නම් යන්න වෙනවා මල්ලි.මෙතන ඉන්න දෙන්නෙ නෑ.."
මට ඒවා ඇහුණාට මම අයියාව අල්ලා ගත්තා තද කරලා අතින්.
"අනේ යන්න එපා..අයියේ..ඉන්න තව ටිකක් වෙලා.."
කොහෙද ඉතින් යන්න වෙලා එයාලට.මගේ දිහා අම්මත් ආයිත් දුකෙන් වගෙ බලන් ඉදලා යන්න ගිහින් අනිත් අතට ආවා..තාත්තා ඒ පාරත් කිව්ව "යන්..නර්ස්ලා බලා ගන්නවා බය වෙන්න එපා..එයාල වගකීම ගන්න නිසානේ යන්න කියන්නෙ කියලා.." කියලා.
ඔන්න ඒ පාර ඔක්කොම යනවා.මාව දාලා.මට මාර දුකයි.මෙහෙම කියන්න බෑ.ඒක මට හිතට දැනිච්ච අමුතුම හැඟිමක්.
දැන් එයාල ගියා.මට අමාරුයි කියලා දැන් දැන් ආයිත් දැනෙන්න ගත්තා.
එතකොටම නර්ස් කෙනෙක් ආවා.ඇවිත් දකුණු අතට ගැහුවා වේදනා නාශක සිරින්ජර් එකක්.
ටිකක් විතර අමාරු ගතිය අඩු උණා වගේ දැනුනා..නිදිමතක් ආවා ඔක්කොම නිකන් කලු වෙනවා වගේත් දැනුණා මට හිතුනා ආයිත් කලන්තෙවත් එනවද කියලත්.
මොනා කරන්නද මට කියලා දැන් පුලුවන් එකම දේ නිදා ගන්න විතරයි.ඉතින් උඩ බලාගෙනම නිදාගත්තා.හැරෙන්න නම් බෑ කියලා තේරිලා තිබුණේ මේ වෙනකොට මට..
නින්දක් ගියා අනේ අපරාදේ කියන්න බෑ.හැබැයි ඒකේ මුළු ගෞරවයම යන්න ඕනේ අර වේදනා නාශකයට.එහෙම කියන්නෙ ඇයි දන්නවද කියලා ඔයාලටත් තේරේවී.මොකද දන්නවද මේ පාර නම් මම ඇහැරුණේ 5ට විතර.ඇහැරෙන කොට අර වේදනා නාශක බලේ ගිහින් තිබ්බේ.ඒ හින්දාම ඇහැරුණාද මන්දා.බුදු අම්මෝ එහෙමත් අමාරුවක්.ඇතුලෙන් රිදෙනවා මට.ගොඩාක්..ගොඩක් කියන්නෙ ගොඩා....ක්..
අම්මෝ වැඩක් නෑ කියලා නම්.අතේ ඇගිල්ලක නම් මිරිකන් ඉදලා වේදනාව අඩු කරන්න පුළුවන්.ඒත් දෙයියනේ දැන් තුවාලේ මගේ බඩේ ඇතුලෙ.කොහොම කරන්නද.මම කොච්චර අසරණ උනාද ඒ වේදනාවට.අම්මො කාටවත් වෙන්න නම් එපා කියලා හිතෙන්නේ ඒ වෙලාවට මේ වගේ අසනීප නම්.
මෙන්න එතකොටම ආවා අපේ මස්සිනායි ඒ කියන්නෙ අපේ ලොකු අක්කගේ හස්බන්ඩ්,එයාගේ මල්ලියි,එයාගේ අම්මයි ඇවිත්.මගෙන් මොනාද ඇහුවා.මුලදි ඇහුනෙත් නෑ..
"මල්ලි කෝ අම්මලා.?"
බොලේ අම්මලාත් ඇවිත්ද ?නෑනේ මම දැක්කේ.
"දන්නෙ නෑ මට නින්ද ගිහින් උන්නේ..එනව ඇති මේ වෙනකොට.."
"එනව කිව්ව අපි අහපු පාර.එහෙනම් තවමත් මග වෙන්න ඇති."
"එහෙම වෙන්න ඇති."
මම කල්පනා කලා.
එතකොට අර මම කලින් එයාලා දැක්ක වෙලාවෙ,ඒ කියන්නේ මම අර අම්මගෙයි අයියාගෙයි අත් අල්ලන් දගලලා ඇස් පියා ගත්ත පාර ඇහැරිල තියෙන්නේ දැන්.ඒ කියන්නෙ මට 12 ඉදන් 5 වෙනකන් සැපට නින්ද ගිහින්..
ඉතින් ඔය අහන එව්වට එහෙම උත්තර දෙනගමන් මස්සිනත් අහනවා විස්තර මගෙන්.එයත් ලගදි මූණ දුන්න ඔපරේෂන් එකකට හර්නියා.ඉතින් එයා දන්නව අමාරුව කොහොමද කියලා.
ඔහොම ඉන්න ගමන් මම ඔලුව උස්සන්න ට්රයිත් නොදුන්නම නෙමෙයි.කොහෙද ඒවා නම් හදේ තමයි ඉතින්.මොකො අර මම කාලා බීල මොකුත් නැති නිසා ඔලුව හරිම බරයි.
එහා පැත්තේ වෝඩ් එකේ දෙන්නත් මම දිහා බලන් ඉන්නවා.අංකල් කෙනෙකුයි (පස්සෙ දන්නෙ එයාත් අපේ පැත්තෙ කියලා ) අනිත් කොල්ලෙක් උන්නා (එයත් බෙල්ලට ඔපරේෂන් එකක් කරගෙන ගෙඩියක් අයින් කරන්න කියලා )
කතාව දාන ගමන් ටිකකින් මෙන්න බොලේ අපේ දෙහිවල මම ඉගෙන ගන්න තැන කොල්ලෙක් ඇවිත් මාව බලන්න.මම ඉන්න තැනටම ඇවිත් කතා කරනවා අපෙ අයියට වෙන්න ඇති මගේ ඇද අහගන්න.මම මස්සිනාට කිව්වා එයාට කතා කරන්න කියලා.ඇයි මාව අපේ කට්ටියට වැහිලා උන්නෙ.
එයා ආව.මගේ බොක්කෙ ෆිට් එකක්.දෙහිවල මාත් එක්ක ඉගෙන ගන්න සෙට් එකෙන් ගොඩක්ම මට සමිප වෙච්ච කොල්ලෙක්.තව ඉන්නවා කීප දෙනෙක්ම.කොහොම හරි පොරත් ඇවිත් බොලේ මාව බලන්න.ඉතින් පොර ආවා මාව බලන්න.මට මචන් කියලා කියවුණා.
මම දැන් එයාලත් එක්ක කතාව පටන් ගත්තා.
"මචන් ලෝටා.."(ඒ කිව්වේ කාඩ් එක.නම ප්රසාද්..)
"අඩේ මචන් මමත් දැනගත්තෙ බබී කිව්වම..ඒ පාර අදම ආව බන්..දැන් කොහොමද ?"
"දවල් ඔපරේෂන් කලා බන්.දැන් තමයි රිදෙන්නේ.."
කොහොමින් කොහොම හරි කට්ටිය යන ටයිම් එකත් ලං උනා.මස්සිනාල කට්ටිය යන්න කියලා මට කියලා කිව්වා.මම හා කිව්වා.මම අසනීප ගතිය නිසා දෙගොල්ලොන්ව අදුන්නලා දෙන්න බැරි උනා.එව්වා මතක් වෙනවැයි ඔය වෙලාවට ඉතින්.
ඔහොම ඉන්නකොට ඉතින් අපේ අම්මලත් ආවා.එතකොට ඉතින් මම තනි නෑනේ ලෝටා යන්න පිටත් උනා..